Thursday, August 13, 2015

ටයි මාමාගේ "ෆ්ලෑෂ් බෑක් "

“මම තවමත් පුංචි ළමයකු විදිහටයි හැගෙන්නේ. වයසින් මුහුකුරා ගියත් මම තවමත් මගේ ළමා වයස දෑතින් බදා ගන්නවා. කයින් වැඩිහිටියකු වූ මම සිතින් පුංචි ළමයෙක්.”
(ළමා පරපුරේ අමරණීය වූ වීරයා - ටයි මහත්තයා )


"මුහුද මගේ ගොඩ බිමයි නැව මගෙ නිවහන තමයි
සියලු සතුන් මගෙ තමයි දොස්තර හොඳ හිත මමයි"

පරම්පරාවෙන් පරම්පරාවට සවන්පත් හි රැඳෙන මෙම ගීතයේ පදවැල් එකිනෙකට ගළපමින් ප්‍රේමකීර්ති ද අල්විස් නමැති දක්ෂ ගේය පද රචකයාත් එහි තනුව නිර්මාණය කළ ජාතික රූපවාහිනි සංගීත අංශයේ එවකට අංශ ප්‍රධානියා වූ සෝමසිරි ඉලේසිංහයනුත් දොස්තර හොඳ හිත කාටුන් චිත්‍රපට මාලාවේ මුල්ම කථාංගය වූ බෑයි කියල බෑ චිත්‍රපටය සඳහා අනුපමේය දායකත්වයක් ලබා දුන්හ. ප්‍රේම් මිය යන තෙක්ම ටයි මහතාගේ බඩ බැඳගත් එකම ගීත රචකයා විය. මා බඩ බැඳගත් යනුවෙන් විශේෂණ පදයක් ප්‍රේම් වෙනුවෙන් ලියා තබනුයේ ඔහු ටයි මහතා හමුවන සෑම විටකදීම පාහේ ටයි මහතාගේ ඉදිරියට නෙරා ආ බඩ වටා අත යවමින් බැරි බරගාතේ වුව ද ඔහුව තමන් දෙසට ඇද ගනිමින් තම දත් පෙළෙහි දෙපස පිහිටුවා තිබූ නල දත් දෙකම ප්‍රදර්ශනය වන සේ සිනහවීමට ප්‍රේම් පුරුදු වී සිටි බැවිනි.

දොස්තර හොඳ හිත කථා මාලාවට අන්තර්ගතව කාටුන් සංගීත කණ්ඩායමක් විය. ටයි මහතා විසින් එය නම් කරන ලද්දේ "ලා තණ කොළ පෙත්තාස්" යනුවෙනි. ප්‍රේම්ගේ පද්‍යවලට සෝමපාල රත්නායක ගේ තනු වලට එම කණ්ඩායම් ගීත ගායනා කරන ලද්දේ දීපිකා පි‍්‍රයදර්ශනී ප්‍රමුඛ අතුලගේ කළුබෝවිල ගෝල බාල පිරිස විසිනි. දීපිකාගේ ප්‍රථම ගායන ප්‍රවේශය ද මෙය විය. පසු කලෙක දී ප්‍රාසංගික කලාව ජනතාව අතරට ගෙන යාම සඳහා රූප රචනාවෙන් සුරු විරුකම් පෑ රවීන්ද්‍ර මුණසිංහ ද එම ගායනා අත් වැලෙහි නිත්‍ය ගායකයෙකු විය.

මිමී 16 චිත්‍රපටය හඬකැවීම් අංශයට අයත්ව තිබූ යන්ත්‍රයේ එහාට මෙහාට යවමින් එහි ඇති කුඩා මොනිටරයෙන් ප්‍රදර්ශනය වන දර්ශනයන් නරඹමින් චිත්‍රපටයේ චරිතයන් ඉංගී‍්‍රසි බසින් කියාපාන දෙබස් ටයි මහතා විසින් ලියා ගන්නා ලදී. පසුදින ඔහු සංස්ථාවට පැමිණෙන්නේ ඔහු විසින් ම නම් ප්‍රසිද්ධ කළ දොස්තර හොඳ හිත, චව්චව්, දියරකුස්, ටොම් වැනි චරිතයන්ගේ මුවඟට සරිලන ලද දෙබස් අන්තර්ගත සිංහල පිටපත ද රැගෙනය. ලා තණ කොළ පෙත්තාස් ගායක කණ්ඩායම විසින් ගායනා කරන ලද ගීතයේ තේමාව ප්‍රේම් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව අදාළ කථාංගය ලූප්වලට කැඩීම ටයි මහතා අතින්ම සිදුවේ. එක් කථාංගයක් ලූප් 16 කින් පමණ සමන්විත වේ. එසේ කොටස් කර ගත් දොස්තර හොඳ හිත කතාව පෙට්ටියක බහාලමින් කලට වේලාවට ශීලා කටුගම්පල මෙනෙවිය විසින් ටයිප් කර දෙනු ලැබූ සිංහල පිටපත ද රැගෙන අදාළ හඬ ශිල්පීන් සමඟ රජයේ චිත්‍රපට අංශයට යාම එකල අතුලගේත් මගේත් දෛනික රාජකාරිය විය.

දොස්තර හොඳ හිතෙන් පසුව හා හා හරි හාවා, පිස්සු පූසා, ගලිවර්ගේ සිව්සැරිය වැනි කාටුන් චිත්‍රපට සේම සම්භාව්‍ය ගණයේ චිත්‍රපට සේ සැලකෙන විදේශීය චිත්‍රපට පෙළක් ද සිංහල බසින් හඬ කැවීම් සඳහා පෙළ ගැසුණි. සිටුවර මොන්ත ක්‍රිස්තො, මල්ගුඩි දවස ඒ අතරින් ප්‍රධානවේ. පිටරට දේ අපේ දේ කර ගැනීමට ටයි මහතාගේ ප්‍රාග්‍රණ්‍යයට හේතු වූයේ ඔහු සතු වූ ද්වි භාෂා දැනුම වේ. ඔහුගේ දෙබස් සරල සුගම වේ. ඒවායේ මුල් දෙබස් ඛණ්ඩයන් තිබුණේද යන්න ගැනවත් ප්‍රේක්‍ෂකයන්ට නොසිතෙන අයුරින් එම වදන් අපේ කර ගැනීමට ටයි මහතා සමත් විය. ජපන් සංස්කෘතියේ පරම්පරා ගැටුම ප්‍රතිම්භනය කරන ලද ඕෂීන් චිත්‍රපට මාලාව මෙයට දිය හැකි කදිම නිදසුන වේ. කුසුම් පීරිස්, සුනන්දා හෙට්ටිආරච්චි, නිහාල් ජයවර්ධන, පබෝධා සංදීපනී, ගීතා කාන්ති ජයකොඩි වැනි ප්‍රවීණ හඬකැවීම් ශිල්පීන්ගේ දායකත්වය ඕෂීන් ප්‍රාණවත් ජීව ගුණයෙන් ආඪ්‍ය වූ ටෙලි නාට්‍ය මාලාවක් හැටියට ප්‍රේක්‍ෂකයන් වෙතට ගෙන යාමට මහෝපකාරී වූහ.

හඬකැවීම් ශිල්පය වෙනුවෙන් මෙසේ පුරෝගාමී මෙහෙවරක් සඳහා තම නිසඟ ප්‍රතිභාව ජාතියට දායාද කරන ලද ටයිටස් තොටවත්ත නම් අග්‍රගණ්‍ය කලාකරුවා, ගුරුවරයා සිහිපත් කර අතුල රන්සිරිලාල් මහතාගේ පුරෝගාමීත්වයෙන් ජාතික රූපවාහිනිය සතු හඬකැවීම් මැදිරිය ටයිටස් තොටවත්ත හඬකැවීම් මැදිරිය යනුවෙන් නම් කිරීම ප්‍රශංසනීය කරුණකි. එම උත්සවයට ටයි මහතාගේ නිර්මාණකරණයේ යෝධ සෙවණැල්ල සුජාතා තොටවත්ත මහත්මියට ඇරයුම් කිරීම ද, එතුමා වෙනුවෙන් මේ භවයේ දී කළ හැකි මහා පුණ්‍ය කර්මය සඳහා හඬකැවීම් ශිල්පය සමාජගත කිරීම වෙනුවෙන් තමන්ගේ ප්‍රතිභාව විහිදුවා ලූ එහෙත් අප අතහැර ගොස් සිටින කරුණාතිලක හඳුවල, ගැමුණු විජේසූරිය, ධර්ම ශ්‍රී මුණසිංහ, වික්ටර් මිගෙල්, එල්සන් දිවිතුරුගම, මර්සි එදිරිසිංහ, නිහාල් ජයවර්ධන, ලෙස්ලි රාමනායක, රෝයි ජයවර්ධන, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු සමඟ ප්‍රේමකීර්ති ද අල්විස් යන ශ්‍රේෂ්ඨ කලාකරුවන් ටයි මහතා සමඟ මධු විතක් තම සුරතෙහි රඳවා ගෙන එලොව සිට බලා සතුටු වෙනු නියතය.

(අනුර මාධව ජයසේකර)


*බැහැයි කියල බැහැයි කියල බෑ....

බැහැයි කියල බැහැයි කියල බෑ
බෑ කියලා බැරිය මලේ
බෑ කියලා බැරිය නඟේ
බෑ කියලා බෑ බෑ බෑ...

මල් පිපුනේ සුවඳ දෙන්න බෑ යි කියල බෑ
තටු ලැබුණේ පියාඹන්න බෑ යි කියල බෑ
අත් ලැබුණේ වැඩ කරන්න බෑ යි කියලා බෑ
මේ ලෝකේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ

අපි හැදුනේ රට රකින්න බෑ යි කියලා බෑ
රට වෙනුවෙන් වැඩ කරන්න බෑ යි කියල බෑ
යුතුකම් ඇත ඉටු කරන්න බෑ යි කියල බෑ
නඟේ මලේ කිසිම දෙයක් බෑ යි කියලා බෑ’

ගායනය: "ලා තණකොළ පෙත්තාස්"
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමසිරි ඉලේසිංහ
(දීපිකා ප්‍රියදර්ශනී පීරිස්,රසාදරී පීරිස්, රවීන්ද්‍ර මුණසිංහ සහ පිරිස)

*සුළඟ සුළුයි වැඩි බර නෑ...

සුළඟ සුළුයි වැඩි බර නෑ
එය සුළුකොට තකන්නෙපා...
සුළුවෙන් එන සුළඟ රත් ව
සුළි සුළඟක් ඇති වෙනවා...
හුස්ම ඩිංග දෙන සුළඟම
මහ ගස් කඳු බිම ලනවා...
"හිත ඇත්නම් පත කුඩාය"
කිසිම විටෙක සිතන්නෙපා...

බයට බය වුණොත් සැමදා
කිසිම වැඩක් බැරි වෙනවා...
බය බය කර ගත්තෝතින්
කවදත් ජය හිමි වෙනවා...
හොඳ හිත නිරතුරු හද මත
පුර සඳ මෙන් බබළනවා...
"හිත ඇත්නම් පත කුඩාද"
කියන වදන සිහි වෙනවා...

ගායනය: "ලා තණකොළ පෙත්තාස්"
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක

*දේසේ හැටියට වාසේ...

දේසේ හැටියට වාසේ
කළොත් නේද සන්තෝසේ

හිම වලසා හිමාලයේ
හිම කඳු අතරේ
වලස් හමෙනි ඇඟ පුරවා
උණුසුම ගත්තේ

අපේ රටේ උපන් සතා
අපේ ම උරුමේ
පිට රට හම පෙරෙව්වොතින්
වැනසෙයි මිතුරේ

කොණ්ඩෙ ඇඳුම වෙනස් කරලා
නොවේය කිසි දා
සිංහල රට රජ වූයේ
ඉස්සර දරුවෝ

ඇඳුමින් අප මොඩ් වුණාට
ඇතුළෙන් හිස් වී
රට ජාතිය ආගම
මක් වෙවිද දරුවෝ

මොණරා පිල් විදහුව්වා ට
පිල ගැලවුණ දා
කළු කුමාට වැඩිය අන්ත
නොවේද අඳුරේ

රට ට ඔබින දේ පමණක්
වැඩට ගෙන සොඳා
මළත් කමක් නෑ ඉන්පසු
දුවේ මගෙ පුතේ
දේසේ හැටියට වාසේ
කළොත් නේද සන්තෝසේ

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : "ළා තණකොළ පෙත්තාස්"

*මුහුද මගේ ගොඩබිමයි.......

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....

සතුන් සමග දොඩමලු වී
කරන රහස ඔහු සතු
දැන ගන්නට දඟදැමු..
පිරිසක් පිරිහේවි ලූ.....//

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....

අයුක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ..
මෛත්‍රියෙන් ජය ලැබේ.......//

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....///

ගායනය : "ළා තණකොළ පෙත්තාස්"
ගී පද : ප්‍රේම කීර්ති ද අල්විස් මාමා
ගී තනු : සෝමපාල රත්නායක

*කුමාර ලීලෙන් සැන් පවුඩර් ගා ...

ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..

කුමාර ලීලෙන් සැන් පවුඩර් ගා ඉලංදාරි හැඩවෙයි
ආදර වන්නම් තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
ඔපේට රැවටී හිතූ මතේ පෙම් කෙරුවෝතින් වරදී
දෙමාපියන් ගේ ආශීර්වාදෙන්
විවා වුණොත් ජයවෙයි...

ආලය කියනා මාලය වැටුනොත් රජුන් ද පිස්සන් වෙයි
අට වැනි එඩ්වඩ් රජකම ඇරියේ ආලය හින්දාමයි
ආලෙන් පැරදුණු අය වස විස බී ජීවිත වනසාලයි
දුරදිග නොබලා කලොත් අපොයි ඔව්
ලව් එක ඉලව් ම වෙයි...

නාහෙට නාහන ඉලංදාරිකම ඔය වයසට ඔහොමයි
ඉලක්කෙ වැරදුණු දවසට ආලෙන් විපත්ති වෙනු බොහොමයි
දරුවන් යුතුකම අම්ම තාත්තා වැඩිහිටි බස් ඇහුමයි
එහෙම නොවේ නම් ඔපේ හපේ වෙයි
අපායට ම වැටෙතෙයි...

ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..
ලව්..ලව්..ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්.. ලව්..

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: "ළා තණකොළ පෙත්තාස්"

*සැබෑ මූණ හංගාගෙන...

සැබෑ මූණ හංගාගෙන
මූණු බැඳන් රෑ අඳුරේ
නටන නැටුම් කවදා හෝ
නටන්න වෙනවා එළියේ...

ඇත්ත මුණ ඇති සැටියෙන්
පෙන්වා සිටියොත් හිරු සේ
ලජ්ජා වෙන්නට කරුණක්
ඇති වෙන්නෑ සියළු කලේ

බොරුවට ආයුෂ ඩින්ගයි
ලබා දිනුම සුළු මොහොතයි
සඟවනු බෑ කිසිම දිනක
බොරුව උඩට ඉස්මතු වෙයි

මැණික් කටය වැනිය ඇත්ත
අගය අඩු නොවෙයි බබලයි
ඇත්තට ඇති තැන බොරුවෙන්
මකන්න බෑ සහතිකයි ...

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: "ලා තණකොළ පෙත්තාස්"

*ඕං රීං කට්ටු කට්ටු...

අන වින කොඩිවින පැන්නිලි
හූනියම් ද නොයෙක් ජාති
හිත හොඳ නම් පිරිසිදු නම්
වදින්නෙ නෑ ජාති ජාති..

කෙනෙක් නහන ලෙසින් සිතේ
ඉරිසියාව මනන්නෝ
ඒ සිතිවිලි මන්තරෙන්ම
නෙක කොඩිවින කරගන්නෝ

මල් පොකුවක් වගේද නැ
පිහියක් දෑතට ගන්නෝ
මුහුණ එක්ක තරහ වෙලා
නහය කපන් දඟලන්නෝ

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: "ලා තණකොළ පෙත්තාස්"

*අඩි ගාණක් වළක් කපලා

අඩි ගාණක් වළක් කපලා
අඩි ගාණක් අනුන් හෙළ ලා
අඩියක්වත් ඉහළ යන්න
නුඹට බෑ පුතේ

අනුන්ට කැපූ වළේ
වැටෙන්නෙ නුඹයි බොලේ...

උගුල් ඇදලා අගුල් දාලා
මඟුල් කන්න නුඹට බෑ
පය ලිස්සා ගියොත් වලට
වැටෙනු වළක්වන්න බෑ
බොරුවෙන් වැඩ බොරු වෙයිමයි
බොරුවෙන් ජය ලබනු බෑ
ඒවා තාවකාලිකයි...

ලණු ඇදලා මඟ අහුරා
කෙනෙකු බිමට දමනු බෑ
හැමදාමත් හැම කෙනාම
බොරුවෙන් රවටන්න බෑ
බොරුවෙන් බොරු මහ බොරුවට
ආයුෂ වැඩි කලක් නෑ
ඒවා තාවකාලිකයි...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : ළා තණකොළ පෙත්තාස්





*සූට් බූට් දිග කලිසම්.......

සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..

තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..
මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා..
හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා..
බොරු බේගල් ඇද බාලා...
සහචරයින් කරයි මුලා...

අන් කුසගිනි නිවන උලා කට බලියන් ඉන්න එකා..
මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා..
තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා..
බිම පෙරලී වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා..

හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා..
කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා....
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු...

ගායනය : ගැමුණු විජේසුරිය
ගී තනු:  සෝමසිරි ඉලේසිංහ
ගී පද : ටයිටස් තොටවත්ත



*හා හා හරි හාවා...

හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
වටපිට ඇහැ ලෑවා..

තබා නිකට ගාවා
වීණාවක් ගෑවා
මිහිරි සින්දු කිවා
නැටුම් ටිකක් පැවා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පිරිස්



*මාමා වලස් මාමා ...

මාමා වලස් මාමා
නැන්දා වලස් නැන්දා

කවුරුද කවුරුද රංඩුකරන්නේ
නැන්දයි මාමයි රංඩු කරන්නේ....
මොකටද මොකටද රැඳු කරන්නේ
වැඩකට නැතිවලු ගහ බන ගන්නේ

මාමා වලස් මාමා
නැන්දා වලස් නැන්දා..

දෙන්නා දෙමල්ලෝ රණ්ඩු කරන්නේ
අහල පහල මැසිවිලි වට වෙන්නේ
දේ දොර දියුණුව අඩාළ වෙන්නේ
ඒ නිසා සමගිව වැඩ කරපන්නේ ...


මෙන්න සින්දු ටික
--------------------------------------------------------------------

ටයිටස් තොටවත්තයන් හඬ කැවීම් සඳහා යොදා ගත් මැදිරිය ‘ටයිටස් තොටවත්ත හඬකැවීම් මැදිරිය’ ලෙස පසුගිය දා විවෘත කරන ලදී. එතුමාට උපහාරයක් ලෙස පුංචි මගෙන් පුංචි අපි හැමෝටම සින්දු ටිකක් ....
වැරදි අඩුපාඩු පෙන්නා දෙන්න .මතකයන් හැමෝමත් එක්ක බෙදා ගන්න එක් වෙන්න ...

Friday, August 7, 2015

“ජීවත් වෙලා ඉන්න කොට මාව බලන්න ඇවිත් යන්න, එන්න"


 “තිස්සසිරි කියන්නේ බටහිර සංගීතයේ නියායාත්මක පදනම් පිළිබඳ ලංකාවේ පිළිගන්න පුළුවන් සංගීතඥයායි. ඒ කියන්නේ තිස්සසිරි රාගධාරී සංගීතය, ජන සංගීතය හා බටහිර සංගීතය පිළිබඳව තිබුණු දැනුම හරිම ප්‍රායෝගිකව මෙන්ම න්‍යායාත්මකව ඉතාම උසස් අයුරින් යොදා ගත් සංගීතඥයෙක්. හැබැයි තිස්සසිරි ඒ බව හඟවන්න ගියේ නැහැ කොතැනකදීවත්.තිස්සට වැදගත් වෙන්නේ පුද්ගලයා නෙමේ, නිර්මාණයයි. සංගීතය කෙරේ එයාගේ තිබුණේ පුදුම භක්තියක්. සම්බන්ධ වෙන නිර්මාණය කුමක් වුවත් ප්‍රවීණයෙකුගේ හෝ නවකයෙකුගේ හෝ කාගේ වුවත් එයට අවංක වෙනවා. කිසි දිනෙක ශබ්දාගාරයක නිර්මාණ කාර්යයක් කරන වේලාවකදී මධුවිතක් කටේ තියලාම නැහැ. එයා දායක වෙන ගීතය උසස් නිෂ්පාදන තත්වයකට ඇවිල්ලා ලස්සන වුණාම රහසින් ඇවිල්ලා ‘උඹේ අද ගීතය හරි ලස්සනයි‘ කියලා අගය කරනවා. පෞද්ගලික ගැටුම් මැද ජීවත් වුවත් කවදාවත් ගෙදර ප්‍රශ්න, හිත් තැවුල් ආදී කිසිවක් අපි දෙන ස්වර ප්‍රස්තාරයට දාලා නිර්මාණ කටයුතු අවුල් කරලා නැහැ. අපි දෙන ස්වර ප්‍රස්තාර බලලා තව රසය මතු කෙරෙන අයුරු සංගීතය නිර්මාණය කරන්න දායක වුණා. තිස්සසිරි හොඳම arranger කෙනෙක්. පිටරටක නම් මේ වගේ arranger කෙනෙකුට හොඳ ඉහළ ආදායමක් උපයන්න පුළුවන්. ඒත් තිස්සසිරි කවදාවත් එහෙම මුදල් සලකා වැඩ කළේ නැහැ. ලෝබයෙන් තණ්හාවෙන් පිරුණු සිතක් එයාට තිබුණේ නැහැ. එදිනෙදා කවුරුත් සමඟත් ලස්සන සින්දු හදලා හිනාවෙලා ඉන්න තමයි එයා පුරුදු වෙලා උන්නේ. පණ්ඩිත් අමරදේව, නන්දා මාලිනී, වික්ටර් රත්නායක ඇතුළු ලංකාවේ ඉන්න හැම ගායක ගායිකාවක්ම දන්නවා තිස්සසිරිගේ සේවය ගැන. ඔවුන් ඒ ගැන හැම තැනකදීම අගය කරනවා.“

(සංගීතඥ නවරත්න ගමගේ )



කලකට ඉහත අපේ සංගීත ක්ෂේත්‍රයේ “වයලීන ත්‍රිත්වය" ලෙස හැඳින්වූවේ කලනි පෙරේරා, ඩී. ඩී. ගුණසේන සහ තිස්සසිරි පෙරේරා ය. එහෙත් අද ඔවුන් අතරින් තිස්සසිරිගේ දෑතේ අතැඟිලි වලට වයලීන වාදනයට වරම් නැත. වයලීන වාදනයට මෙන්ම ඔර්ගන්, බටනලා, චෙලෝ ඇතුළු වාද්‍ය භාණ්ඩ කිහිපයක්ම වාදනය කිරීමට අපූර්ව හැකියාවක් දැක් වූ තිස්සසිරි අද සිටින්නේ සිය හැකියාව සේම ජීවිතය ද අකාරුණික ලෙස ගොදුරු කර ගත් අංශභාග රෝග රකුසා සමඟ සටනක ය. එම සටනින් තිස්සසිරි පරාජය නොවි ඉන්න තිස්සසිරීට අපේ සහාය දෙන්න අපිට පුළුවන් නම්...
ගායන ශිල්පි කරුණාරත්න දිවුලගනේ ගයන “ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්“ ගීතය මෙන්ම“නුඹ තනියෙන් මල් වැට ළඟ“ (පණ්ඩිත් අමරදේව) - “ඉරි තැලුණු වලා“ - “බාල චන්දනී නළල් තලාවේ“ (අමරසිරි පීරිස්) - “තහනම් සඳක් දෝ නැඟුණේ“ (ලක්ෂ්මන් හේවාවිතාරණ) - “සක්විති වාගේ සැරසීලා“  (විශාරද  එඩ්වඩ් ජයකොඩි) - “විල්දිය සිඳුනා ද කිඳුරියේ“ (දමයන්ති ජයසූරිය) - “මා ළඟටම තව ළං වෙලා“ (ඩබ්ලිව්. ඩී. ආරියසිංහ) - “එල්ලී ගෙන තිරික්කලේ“ (අමරසිරි මුණසිංහ) ඇතුළු සුභාවිත ගී ගණනාවක මධුර ගී තනු නිර්මාණය කළ සංගීතඥ තිස්සසිරි පෙරේරා අද මේ වනවිට බරපතළ ලෙස ස්නායු රෝගීව ගිලන් යහනේ වැතිර සිටියි. 

"ජීවත් වෙලා ඉන්න කොට මාව බලන්න ඇවිත් යන්න එන්න කියලා ලියන්න. මගේ ලිපිනයත් මාව බලන්න එන අයට කියන්න. ටෙලිෆෝන් නොම්මරෙත් කියන්න"

(පානදුර, ගාලු පාර, උයන් කැලේ, 310 තිස්සසිරිගේ ලිපිනයයි. 077 774 864 0 ඔහුගේ දුරකතන අංකයයි.)
උපුටා ගත්තේ "සිළුමිණ රසදුනෙන් "

01.මා ලඟටම තව ලං වෙලා ........

හිඳින්න නිහඩ නුවන් පියා
මා සිතාවෝ සැතපෙන නින්දේ
නුහු පුර දෝ ප්‍රියේ
පා සුලැගිල්ලේ අදනම් අවදි නොවේ
කුසුම් කැකුල නිදනා තුරා

සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ
මහලුවෙලා අද සඳ වාගේ
‍යෞවන රූ සඳ බලාන උන්නාවේ

කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා
නල මුදු සුවදේ නිදන මලේ

මට මල් රොනවුලු සුවඳ දැනේ ලඳුනේ

ගායනය  : ඩබ්.ඩී ආරියසිංහ
සංගීතය : තිස්සසිරි පෙරේරා
ගී පද : අජන්තා රණසිංහ

02.ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්...

ඔබ දන්නව නම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුළ වුණත් නෙතු අගට ඇවිත්
යළි ඔබේ පයට පෑගෙනවා නම්.....

එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳින තරම්
ඒ පිපෙන මලත් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙළා රිදවනවා නම්..........

දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මව් වරුනි උතුම්
මට කියා දෙන්න ලොව ඇතිද තවත්
වෙන අරුතක් මේ ජීවිතය තරම්.....

පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - තිස්සසිරි පෙරේරා
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

03.නිසල කඳු මුදුන් පිබිදී......

නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා ...

බක්මී මල් රේණු හැදී මාරුතයේ නටනා
ජීවිතයේ සැන්දෑවක සමීපයේ හිඳිනා
සෙනෙහස ඔබ පමණි

නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා

කණාමැදිරි මල් පිබිදී රැයක අඳුර හඬනා
ජීවිතයේ විරාමයක ඔබ සැතපුණු සැණිනා
මතකය ඔබ පමණි

නිසල කඳු මුදුන් පිබිදී මීදුම් මල් පිපෙනා
සිහිල් දිය ඉරක් විය ඔබ උදෑසනක ගලනා ..

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ජයලත් මනෝරත්න
තනුව හා සංගීතය - තිස්සසිරි පෙරේරා

04.සඳ කඩා වැටී වෙරළේ.....

සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී ..

ලිය ලතා පවනෙ හිනැහී
තුරු බඳෙහි වෙලී පැටලී
පෙර දිනෙක නොවූ පරිදී
මේ අසිරිමත්වු දිනෙකී

සඳ තරුද වැසුණ රැයෙහී
ලොව මෙලෙස සොඳුරු වූයේ
මා ලද නිසාද ඔබගේ
ආදරය දිනෙක සැඟවූ

සඳ කඩා වැටී වෙරළේ
තරු පිපී රැයෙක සයුරේ
සැඩ සුළං නොමැති අහසේ
ලොව නිසොල්මනේ නැවතී

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ජයලත් මනෝරත්න
තනුව හා සංගීතය - තිස්සසිරි පෙරේරා

05.දීපාවලී දාට දීපාවලී සඳ අරන්...

දීපාවලී දාට දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්

වෙඩි සද්දයට බයේ දරු කැක්කුමත් හිත දරන්
මහ ගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන්
දැන් ගිනි අඩුවෙලා ගිහින්
පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන්

කෝවිල ළඟදි දැකපු දේවී ගැනම හිත ගිහින්
නොකියා ගියේ නුඹයි අපෙ අවසරය නැතිකමින්
දැන් තරහා නිවී ගිහින්
තල් පැදුරකුත් වියන් එන්න යාපනෙන්

දීපාවලී දාට දීපාවලී සඳ අරන්...

ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
සංගීතය - තිස්සසිරි පෙරේරා
ගී පද - ආනන්ද හේවාරන්හිඳගේ

06.මා හද විදුලිය රේඛාවකි ...

මා හද විදුලිය රේඛාවකි
ඔබ දිලෙන යළිදු නිවෙනා
ඔබෙ අත නොලදින්
සොයමි ඔබට සරි රුවක්

මසිත නිවනා ගලන
ඇළ දොළේ දිය බුබුලේ
 හඞ ඔබ මට කොඳුරනු දැයි සිතුණා
ගමේ විහාරේ බෝමළුවේ

මල් සුවඳට ඔබ ළඟ යැයි හැඟුණා
අප ආ ගිය මඟ දෑලේ
තුරුලිය මහලු වෙලා
දලු මල් වරලා සොයමි
ඔබේ රුවයන එන හැම තැන
මතකය විතරක් තුරුණු වෙලා

පද රචනය: මහින්ද දිසානායක 
සංගීතය: තිස්සසිරි පෙරේරා 
ගායනය: සෝමතිලක ජයමහ

07.සෙනෙහස ලැබ පිබිදෙන විට...

සෙනෙහස ලැබ පිබිදෙන විට
තහනම් නැති ආදරේ
මදහස සඳපානක් වී
උතුරා යයි ජීවිතේ.....

සුවඳ සඳුන් සුවඳ පෙරා
කඳුළු උයන් මල් අතුරා 
වෙණ මිණි තත් වැයෙන රැයේ
උතුරා යයි ජීවිතේ...
ආදරේ.....

නඳුන් වනේ සිරි පතුරා
පැතුම් විලේ දිය උතුරා 
සඳ මිණි රැස් වැටෙන පැයේ
උතුරා යයි ජීවිතේ...
ආදරේ......

ගී පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - තිස්සසිරි පෙරේරා
ගායනය - සුනිල් එදිරිසිංහ

08.සිතුම් සඳැල්ලේ  මා ...

සිතුම් සඳැල්ලේ  මා සුව සිහිනය දොවා ඔබේ සුවඳින්
මගේ පැතුම් ලොව සරිකර ලන්නට ඔබෙන් වරම් යදිනෙම් 

ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙට අවෙම්
නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්
හදවත උතුරන ඔබේ පෙම් සිතුවම් ඔබේ නුවන් කීවා
කුළුඳුල් සෙනෙහස ඔබට පුදන්නට මා හද ළතැවෙනවා
කෝප නොවන් නුඹ මා ප්‍රිය සිසුවිය සිත නුඹ කළඹාදෝ
ශිල්ප වඩන ඔබ නොමඟ යැවූ  දා මා ඇදුරිඳු වේදෝ
සමාවන්න මට ඇදුරුතුමනි මගෙ සිර කරලමි හැඟුමන්
පෙම් නොකරමි මතු සිතට වහල් වී ඔබ ඇදුරිඳුය උතුම්
ශිල්ප පුදන්නට මතු පරපුර වෙත මා ගුරු ගෙට අවෙම්
නාම විශේෂණ  මට නැත ඔබ ගැන මා ඔබේ ඇදුරිඳු වෙම්

ගී පද : අයි. ඩි. ජයතිස්ස
සංගීතය : තිස්සසිරි පෙරේරා 
ගායනය :මායා දමයන්ති සහ ලක්ෂ්මන් විජේසේකර

09.ඉරි තැලුනු වලා උඩු වියන් යටින්.....

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් 
මුදු තාර ඇතිරිල්ලේ 
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ 
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ 
සෙනග රවටමිනේ........

වටපිටේ සීරුවට 
විදුලි ඇස් සිනාසේවී 
නොරැවටී යන්න 
යමු  කහ ඉරෙන් එතර වීලා.......

රිය පෙලේ කිරුල හිමි 
රජවරුන් අත වනාවී 
බිම බලන් යන්න යමු 
කහ ඉරත් රැලි වැටීලා ....

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් 
මුදු තාර ඇතිරිල්ලේ 
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ 
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ 
සෙනග රවටමිනේ.........

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සමන් අතාවුදහෙට්ටි
සංගීතය - තිස්සසිරි පෙරේරා

10.දුර ඈත ඡීවිතේ....

දුර ඈත ඡීවිතේ 
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ ..

දෑසේ වෙලී ඔබේ
ආරාධනා මැවේ ...
මසිතේ ගලා හැලේ
සිහිනේ අතීතයේ

මා ඒ අතීතයේ 
ඈ හා මුලා වෙලා ..
පිදු ඒ ස්නේහයේ 
සිත මා බීදී ගියේ

දුර ඈත ඡීවිතේ 
පිපිසේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - තිස්සසිරි පෙරේරා

11.අනේ හාන්දුන්නේ.....

අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ

වැරිසල් ඉනකඩ ඉන වට තඹ තැටි අත රැඳෙනා 
හෙළනා සුසුමින් පණ ලැබ රවුමට කරකැවෙනා

අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ

වේවැල් පතුරට හීරෙණ ඇඟිලි තුඩින් මැවෙනා 
ජීවිතයෙන් රටා අරන් වට්ටි පෙට්ටි වියනා

අනේ හාන්දුන්නේ
දුක කියා පාන්නට දොර පිල අසලින් ඉන්නේ
ගාඩි ඇත්ති මං
පින්කඳ මට අවසර දෙන්නේ
අනේ හාන්දුන්නේ

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - රෝහණ දන්දෙණිය
සංගීතය - තිස්සසිරි පෙරේරා

12.සිංහල කඳුළට.........

සිංහල කඳුළට දමිළ සුසුම් වල දුක දැනිලා
තල් වැට අද්දර සිංහල අවුරුදු සිරි මැවිලා
මාතර බෝධිය තල් කොළ තොරණට ඉඩ ඇරලා
යාපා පටුනේ සේරම පන්සල් දැන් වැහිලා

ඉස්සර රජවරු ඔටුන්න සිහසුන ගැන නොබලා
සිංහල සිරි ලක වෙනුවෙන් දිවි දුන් හැටි නොහිතා
සිංහල ලේ ඇති හෙළයන් හිවලුන් සේ හැදිලා
ලූලන් නැහැ දැන් වලවල් වල කණයින් පිරිලා

සිංහල කඳුළට දමිළ සුසුම් වල දුක දැනිලා
තල් වැට අද්දර සිංහල අවුරුදු සිරි මැවිලා
මාතර බෝධිය තල් කොළ තොරණට ඉඩ ඇරලා
යාපා පටුනේ සේරම පන්සල් දැන් වැහිලා

සපුමල් කුමරුත් ගැමුණු රජුත් යළි එයි කියලා
අලසව නිදියන නින්දෙන් හනිකට අවදිවෙලා
මැරුණත් නැගිටින සිංහල ජාතිය ගැන හිතලා
නැගිටිනු සිහලුනි නැගිටින්නට කල් ඇවිදිල්ලා 

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - ආනන්ද හේවාරංහිඳගේ
සංගීතය - තිස්සසිරි පෙරේරා

13.මුර දේවතාවී.......

මුර දේවතාවී
පියෙන නෙතු දොර අසල නොනිදන්නා
නෙතු අරින විට
දෙතොලෙ සැක පෙන්නා
නොනිදා
ප්‍රේමයේ නිදන් රැක උන්නා
මුර දේවතාවී 
මසිත නුඹ ගැන තවම ළතවෙන්නා
මුර දේවතාවී

නෙතෙහි පතුළේ නුඹ නිසා
නෙත් පියන්නත් බැරිවී ගියා
මුවට දොරගුලු ලා මගේ
ආදරෙන් සිත දොඩමළු කළා

නුඹට දුන් මගෙ ජීවිතේ
අද කාට දෙන්නද හිත පුරා
කෙලෙස මා මගහැර ගියේ
ආදරේ මට විතරයි කියා

මුර දේවතාවී
පියෙන නෙතු දොර අසල නොනිදන්නා
නෙතු අරින විට
දෙතොලෙ සැක පෙන්නා
නොනිදා
ප්‍රේමයේ නිදන් රැක උන්නා
මුර දේවතාවී 
මසිත නුඹ ගැන තවම ළතවෙන්නා
මුර දේවතාවී

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - යමුනා මාලිනී පෙරේරා
සංගීතය - තිස්සසිරි පෙරේරා

14.සුදු පාට මල් පිපුණු......

සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට
බාලිකාවේ සුවඳ තනි වෙලා
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියළු දේ අතීතෙට පවරලා

ඇසළ සඳ දිය නොවුණු ඈත වැව් තල කොණෙක
ගයා නිමවූ කවිය ඉකිබිඳී
අපට අප පමණක් නොවේ නැණ නුවන් සැදූ
තක්සලාවත් අහිමි වීලා

සිනා සරදම් පිරුණු පන්ති කාමර අතර
ගෙවී ගිය මල් සමයි සිහිනෙකි
සඳට ඉකි බිඳ හඬන නොදරුවන් නොවේ අප
සිනාසෙමු අතීතෙට සෙනෙහසින්

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය : තිස්සසිරි පෙරේරා
පද රචනය : සුනිල් දයානන්ද කෝනාර 

15.දනිමි කියන්නට ඇති....

දනිමි.... 
කියන්නට ඇති 
රහස දනිමී
දනිමි...
මිහිරි බව දනිමී
ඒ නිසා...
රහස මුවඟින්
නොපවසනු මැනවී...

පිපුණු පසු මල් 
පරව යන සේ
සතුට යයි මැකිලා...
ඇයි ද හිනැහී 
කැකුළු පරවන්නේ
ඒ නිසා...
කැකුළු මල තුළ
සුවඳ රැකුණාවේ
සුවඳ රැකුණාවේ...

මෙතෙක් නොඇසූ 
ගීය මිහිරියි
නොවිඳි සුව මිහිරෙන්...
එවන් මිහිරෙක 
මහද සැතපෙනවා 
ඒ නිසා...
රහස ගොළු කර 
දරා ගත මැනැවී
දරා ගත මැනැවී...

ගී සංකල්පනාව : දයා ද අල්විස්
සංගීතය : තිස්සසිරි පෙරේරා
ගායනය : මාලිනී බුලත්සිංහල

16.බාල වයසින් මැරුණු ප්‍රේමය..

බාල වයසින් මැරුණු ප්‍රේමය
හොවාගෙන ළමැදේ
දොරින් දොර යන ප්‍රේමවන්තිය 
කිසාගෝතමියේ ...කිසාගෝතමියේ 

අනන්තයෙ ඈත දුර 
නිම්තෙර තාරකා එළියේ
ඔබේ වැළපුම් ඉකිබිඳුම් හඬ
රැවි දිදී පැතිරේ
පෙමින් පැරදුණු පෙමිවතුන්මය
පාර තොට දෙපසේ ... පාර තොට දෙපසේ

දිනා කුළුඳුල් සෙනේ 
සැනසුම් සුසුම් හෙළු අයගේ
සුසුමකින් යළි පණ ලබනු ඇති
ආදරය ඔබගේ
එවන් සැනසුම් සුසුම් කොතැනක
හමුවේද සසරේ ...හමුවේද සසරේ

බාල වයසින් මැරුණු ප්‍රේමය
හොවාගෙන ළමැදේ
දොරින් දොර යන ප්‍රේමවන්තිය 
කිසාගෝතමියේ ...කිසාගෝතමියේ

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිහ
සංගීතය - තිස්සසිරි පෙරේරා

17.පිනි පොදක් නැතිව සුසුම් හෙළන.........

පිනි පොදක් නැතිව සුසුම් හෙළන
වන්නි තුලානේ
උඹ හිනා වුණත් කරඹ මලක් සේ
හිත ඉකිගහනා හඬ ඇහුණා
හීන් සීරුවේ . . . .

සිකුරු තරුව හැමදාමත්
ඔච්චම් කෙරුවා ඉරගල වැටෙන කරුවලේ
පැණි මොර මල් සුවඳට එන
බඹරු රැහේ ඉගිලුණා ද
උඩු හුළං මනාපේ . . . .

අටවක හඳ රටා වියන
වැව් ඉස්මත්තෙන් සී පද අඬහැර ඇසුණේ
උඹේ හිතේ කකියන දුක
හේවාරම් සී පදයට
උඹ කියාපන් නගේ . . . .

පද - සුනිල් දයානන්ද කෝනාර
සංගීතය - තිස්සසිරි පෙරේරා
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

18.සසරේ මහ සයුරේ....

සසරේ මහ සයුරේ තනි වූ විට ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවන දා ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ

කරදර බාධක මඟ අහුරන දා
සිනාසෙමිනි ඉදිරියට ගියේ
සම්පත පොදි බැඳ දොරට වඩින සඳ
කිසිදා ඔබ නැත උඩඟු උනේ
මා ආදර පිය ළඳුනේ

බර උසුලා ගෙන යන මේ ගමනේ
සිවු මං සල්වල විඩා නිවා
ඔබ ළඟ නැතිනම් ගමන නොයා හැක
අත්වැල සවියයි ඔබ ළඳුනේ
මා ආදර පිය ළඳුනේ
සසරේ මහ සයුරේ.....

ගායනය  : එඩ්වඩ්  ජයකොඩි
සංගීතය :තිස්සසිරි පෙරේරා
පද : පී. බී. කවිරත්න

*ජාතික රූපවාහිනියෙන් එතුමා සම්බන්ධයෙන් කල වැඩසටහන ...



ගීත සියල්ල මෙතැනින් ගන්න
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
ප.ලි
රසදුනේ දැකපු ලිපිය නිසා මේ ගැන ඉක්මනින් කියන්න වුවමනා උනා .එතුමා ගේ වැඩි විස්තර දන්නා අය, අපි හැමෝමත් එක්ක විස්තර බෙදාගන්න ..
වැරදි ඇතොත් පෙන්වා දෙන්න ..